දෙමව්පියන් කිහිප දෙනෙක් එවූ ලිපියට පිළිතුරු

සුමේධ විදුහලේ ආර්ථීකය

සුමේධ විදුහලේ ආර්ථීකය සම්බන්ධව දෙමව්පියන් පිරිසක් අත්සන් රැසක් සමඟ ලිපියක් එවා ඇත. අත්සන් කරපු අයගේ නම් නැතිවීම කණගාටුවට කරුණකි. ඒ මන්දයත්, කළමණාකාරීත්වයට එම දෙමව්පියන් සමඟ සෘජුව සම්බන්ධ වී, මෙම කරුණු හොඳින් වටහා දීමට අවස්ථාව ගිලිහී ගිය නිසාය.පළමු කොට මෙලෙස අදහස් ඉදිරිපත් කිරීම ගැන එම දෙමව්පියන්ට විදුහල්පතිතුමියගේ සහ කළමණාකාරීත්වයේ තුති පුදමු.

සමස්තයක් වශයෙන් එම ලිපියේ, පාසල් කටයුතු සහ ක්‍රීඩා කටයුතුවලට අය කරන මුදල් වැඩි කිරීම සාධාරණ නොවන බව පෙන්වා දී ඇත.විදුහල්පතිතුමිය, ජ්‍යෙෂ්ඨ ගුරු මහත්මිය සහ කළමණාකාරීත්වය ඔබ සැම එවූ ලිපිය සම්බන්ධව සාකච්ඡාවක් පැවැත්වූ අතර එම සාකච්ඡාවේ දී සියලූ දෙනාම එකඟ වූ ලෙස පහත සඳහන් කරුණු දෙමව්පියන්ට නැවත මතක් කර දීමට තීරණය කළෙමු.
  1. අප මධ්‍යස්ථානයට සහ පාසල් වලට පිටතින් කිසිම ආධාරයක් නොමැති බවද දරුවනගේ පොත් හැර වෙන කිසිම විධියකින් රජයේ ආර්ථීක පහසුකම් ලබා නොදෙන බවය. 
  2. මෙම මධ්‍යස්ථානය සීඝ්‍රයෙන් අප දියුණු කරයි. එලෙස දියුණු කිරීමට අනිවාර්යෙන් අප හට මුදල් අවශ්‍යයි. එම මුදල් සොයා ගැනීමට, සේවා ගාස්තු වැඩිකරනවා විනා වෙන ක්‍රමයක් නොමැත. 
  3. අප අය කරන මුදල් නැවත මෙම මධ්‍යස්ථායේ ආයෝජනය කරයි. වෙන කිසිම ව්‍යාපාරයකට යොදවන්නේ නැත. කළමණාකාරීත්වය වෙන කිසිම ව්‍යාපාරයක හිමි කරුවන් නොවේ. කළමණාකාරීත්වයේ ඒකායන පරමාර්ථය මෙම මධ්‍යස්ථායේ උපරිමව දියුණු කර ජනතාවට සේවය සැපයීමයි. 
  4. වැඩිවන ජීවන වියදමට සමගාමීව ගුරු සහ සේවක මණ්ඩලයට වේතන වැඩි කළ යුතුය. 
  5. වැට් බදු ඇතුලූ නඩත්තු කිරීමට අවශ්‍ය සෑම භාණ්ඩයකම මිල වැඩි වී ඇත. 
  6. නගරය සහ පාසල අවට වාහන තදබදය සීඝ්‍රයෙන් වැඩිවේ. මීට පිළියමක් ලෙස නව මාවතක් සැකසීම ඉතා වැදගත්ය. 
  7. ඔබට පෙර දැන්වූ පරිදි 2018 වසර වන විට පන්ති කාමර 48 ක් සහ ගෘහස්ත ක්‍රීඩාගාරයක් පාසලට අනිවාර්යය. 
  8. වාහන ගාල් කිරීමට විශාල ඉඩම් ප්‍රමාණයක් මිල දී ගැනීමට සිදුවී ඇත. 
ඔබ සැම යෝජනා කර ඇති පරිදි පාසල් සහ සේවා ගාස්තු වැඩි නොකර අප මධ්‍යස්ථානය සහ පාසල් දියුණු කිරීමට ඇති අනෙකුත් ක්‍රමය නම් බැංකු වලින් විශාල ණය මුදල් ලබා ගැනීමය. එලෙස විශාල මුදලක් ණයට ගත හොත් අනාගතයේ දී සුමේධ විදුහල ආර්ථීක අස්ථාවර තත්ත්වයට පත් විය හැකි වනවා පමණක් නොව, එම ණය මුදල් පොලිය සමඟ නැවත බැංකු වලට ගෙවීමට අවශ්‍ය මුදල් සොයා ගැනීමට පාසල් වල සහ මධ්‍යස්ථානයේ සේවා ගාස්තු යෝජිත සේවා ගාස්තු වැඩි කිරීම් වලට වඩා දෙගුණයකින් තෙතුණයකින් පමණ වැඩි කිරීමට සිදුවන බව අප මධ්‍යස්ථානයේ ගණකාධිකාරීන් ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයේ මතයයි.

ඔබගේ ලිපිය අප ඉතා අගය කරමු. සැමවිටම අප දෙමව්පියන් හට සවන් දීමට සූදානම්ය. විනිවිදභාවය කළමණාකාරීත්වයේ මූලික අංගයකි.

ඉහත සඳහන් පරිදි, ඔබ සැම එවූ ලිපිය, ගණකාධිකාරීන්, අධ්‍යක්ෂක මණ්ඩලය, විධායක නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ ගුරු මණ්ඩලය සමඟ සාකච්ඡා කළෙමු. අප සැම දෙනෙක්ගේම මතය වූයේ පාසල සහ තරුණ සංවර්ධන මධ්‍යස්ථානය කඩා නොවැටී මෙම ජනතා සේවාවන් තවත් පුළුල් කිරීමට නම් අප ලබා දෙන සෑම සේවාවකම ගාස්තු සාධාරණව වැඩි කරනවා විනා වෙන ක්‍රමවේදයක් නැති බවය.

ස්තුතියි.
මීට
කළමණාකාරීත්වය

No comments