ගම්පහ තරුණ සංවර්ධන මධ්‍යස්ථානය අවට වාහන තදබදය

 සුමේධ විද්‍යාලයේ, විශාකා පෙර පාසලේ දෙමව්පියන් සහ දරුවන් ප‍්‍රවාහනය කරන රියදුරු මහත්ම මහත්මීන් වෙත,

ගම්පහ තරුණ සංවර්ධන මධ්‍යස්ථානය අවට වාහන තදබදය

විදුහලට දරුවන් රැගෙන එන පුද්ගලික වාහන, පොදු වාහන රියදුරු මහත්ම මහත්මීන්ට ලිපි මගින් රැස්වීම් වලදී ඉතා බැගෑපත්ව වාහන තදබදය අවම කිරීමට සහයෝගය ඉල්ලා සිටියද, එම ඉල්ලීම් වලට කිසිසේත් සවන් නොදෙන බව අප හට ඒත්තුගොස් ඇත. තනි දරුවා රැගෙන පාසල පටන් ගන්නා ඇරෙන වේලාවලට නොපැමිණෙන ලෙස දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටියද, දෙමව්පියන් විශාල පිරිසක්  තනි ලමයා රැගෙන වාහන තදබදය උච්චම අවස්ථාවේදී පාසලට පැමිණීම කිසිසේත් අඩු වී නැති බව අප හට පෙනී ගොස් ඇත.

දින කිහිපයකට පෙර, පාසල පටන් ගන්නා වේලාවේදී, උසාවි පටුමග නිවසක අසාධ්‍ය වු ලෙඩෙකු රෝහලට ගෙන යාමට තම නිවස ළඟට වාහනයක් ගෙන ඒමට පැයක් ගත වු බව සුමේධ කළමණාකාරත්වයට එම නිවසේ වැසියන් දැන්වුහ. එම ඉතා කණගාටුදායක කරුණ අප සනාථ කළ අතර, වත්මන වන විට විශාකා පාරේ ජීවත්වන අය හට අප පාසල පටන් ගන්නා සහ ඇරෙන වේලාවට ගෙයින් එළියට බැහීමට බැරි තත්වයක් උදා වී ඇත.

මෙම ප‍්‍රශ්නය සම්බන්ධව අප පොලීසිය සමඟ සාකච්ඡා කළ අතර, උසාවි පටුමගට පාසල ඇරෙන වැහෙන වේලාවට දරුවන් රැගෙන එන වාහන ඇතුළු වීම, පොලිසිය විසින් අවම කිරීමට ක‍්‍රියා මාර්ග ගැනීමට පොරොන්දු වී ඇත. මෙම උග‍්‍ර ප‍්‍රශ්නයට විසදුමක් ලෙස, තරුණ සංවර්ධන මධ්‍යස්ථානය තුළ, පාසල් ඇරෙන වැහෙන වේලාවලදී, වාහන එක් අතකට ගමන් කිරීමේ(One way system) ක‍්‍රමවේදයක් සැකසීමට කළමණාකාරත්වයට අනිවාර්යයෙන්ම සිදු වී ඇත.
  
 

2018 ජනවාරි 25 වනදා සිට ප‍්‍රධාන ගේට්ටුවෙන් පෙ.ව.6.45 සිට පෙ.ව. 8.30 දක්වාද, ප.ව. 12.00 සිට ප.ව.2.00 දක්වාද වාහන පිටවීම නවත්වන අතර සියලූම වාහන ඉහත සදහන් කාල පරාස දෙක තුළ පිටවිය යුත්තේ නාමල් උයන හරහා විජය පාරටය.

මෙතෙක් ක‍්‍රියා කළ පරිදි කාර්යාලය ඉදිරිපිට ඇති වාහන නවත්වන පෙදෙසේ පාසල් වෑන් නැවැත්වීම තහනම්  අතර සියලූ සුමේධ සහ පෙර පසල් දරුවන් පාසල ඇරුණු විට රථ ගාල් වලට ගොස් වෑන් වලට ගොඩවිය යුතුය.
මෙම නව වාහන හැසීරීමේ ක‍්‍රමවේදය දරුවන්ගේ ආරක්ෂාවටද අනිවාර්යයෙන් සුරක්ෂිත වන බව පැහැදිලි කරුණකි. අප පාසල හැර කිසිම පාසලක වාහන පාසල් පරිශ‍්‍රයට ගැනීමට ඉඩ නොදෙයි. අප පාසල පරිසරය තුළ පාසල ඇරෙන වේලාව තුළදී වාහන මැද එහා මෙහා දුවන දරුවන් හට විය හැකි අනතුරු මෙම නව ක‍්‍රමවේදය නිසා අවම කර ගත හැකි අතර පිටතින් දරුවනට සිදුවිය හැකි ආපදාවන්ද නැති කළ හැකිය. තවද, පාසල පරිශ‍්‍රය තුළ පරිසර, වායුගෝල, ගස්කොළං සහ ශබ්ද දුෂණය අවම කිරීමට මෙම වාහන සීමා කිරීම තුළින් ලබා ගත හැකි තවත් ප‍්‍රතිලාභ ලෙස සදහන් කළ හැකිය.

මෙම One way ක‍්‍රමවේදය යතුරු පැදි වලට අදාළ නොවේ.

නොමිලේ ආරක්ෂිතව ලබා දෙන නිවහන සුමේධ සිසු ප‍්‍රවාහන සේවාව.

වාහන තදබදය, අවට වැසියන්ට කරදරය අවම කිරීමට සාර්ථක පියවරක් ලෙස දියත් කළ ඇති නිවහන ප‍්‍රවාහන සේවය පාවිච්චි කිරීම තුළින් ඔබට, දරුවාට, වාහනයට, පාසලට සහ අවට ගම් වැසියන්ට විශාල සේවයක් සිදු කිරීමට කළ හැකි බව මතක් කර දෙමු. එබැවින් කරුනාකර ඔබගේ දරුවා උදෑසන නිවහනට භාර දෙන්න. පාසල ඇරුණු පසු නිවහනෙන් ගන්න.  පාසල් කළමණාකාරිත්වය, ඉතා සුරක්ෂිතව ඔබගේ දරුවා නිවහනේ සිට පාසලට රැගෙන ඒමටත් නැවත නිවහනට රැගෙන ඒමටත් බලාපොරොත්තු වෙමු.

ජනාකීර්ණ නගරයක වුවද අප පාසල පිහිටා ඇත්තේ වසර 100කට වඩා වැඩි කාලයක් තම නිජබ්ම් කර ගත් ගමක් තුළ බව අප සැවොම සිත තබා ගත යුතු කරුණකි. එමෙන්ම පාසල අවට ජීවත් වන එම ප‍්‍රදේශවාසි ජනතාවගේ පුර්ණ ආශිර්වාදය තුළින් දියුණු වු මෙම පාසලේ කළමණාකාරිත්වය සහ දෙමාපියන්ගේ යුතුකම සහ වගකීම වනුයේ එම ජනතාවගේ ජන ජීවිතයට කිසිදු බාධාවක් නොවන පරිදි පාසල පවත්වාගෙන යාමයි. එමගින් පාසලේ දීර්ඝකාලීන පැවැත්ම හා ආශිර්වාදයත් පාසලේ දරු දැරියන්ගේ ආරක්ෂාවත් තහවුරු වන බව අප තරයේ සිත තබා ගත යුතුය. මෙම කරුණ සම්බන්ධව ඔබගේ පුර්ණ සහයෝගය පාසල් කළමණාකාරිත්වයට ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන අතර ඔබට යම් අපහසුතාවයක් සිදු වේ නම් කණගාටුව ප‍්‍රකාශ කරමු.

සභාපති,
විශාකා පෙර පාසල සහ සුමේධ විද්‍යාලය
, ගම්පහ.

No comments