සියළුම දෙමාපියන් වෙත

සුමේධ විද්‍යාලයීය ශිෂ්‍ය සුබසාධක සංගමයේ ලේකම් නිහාල් හේවගේ මහතා සුමේධ දෙමාපියන් වෙනුවෙන් ඉදිරිපත් කළ ඉල්ලීම් ඇතුළත් ලිපිය හා බැඳේ.

හිතවත් නිහාල්,

පළමුව ඔබ, ශිෂ්‍ය සුබසාධක සංගමයේ ලේකම්වරයා ලෙස හා ඔබ කමිටුවත් කාරක සභාව හා සුමේධ විද්‍යාලයේ දෙමාපියන් සහ දරුවන් වෙනුවෙන් සිදු කරනා මෙහෙවර වෙනුවෙන් සහ පාසලේ කළමනාකාරීත්වය, ගුරුමණ්ඩලය ඇතුළු සෑම නිළධාරියකුටම ලබා දෙන සහයෝගය වෙනුවන් අපගේ කෘතඥතාවය පළ කරමු.එලෙසම, අප දෙමාපියන් සැමවිටම පාසලේ අභිවෘද්ධිය සහ සංවර්ධනය පිළිබඳ මනා අවබෝධයෙන් කටයුතු කරනා පිරිසක් බව අප පැහැදිලිව හඳුනාගෙන ඇත. 

සුමේධ විදුහලේ ශිෂ්‍ය සුබසාධක සංගමයේ ලේකම්වරයා ලෙස සමස්ත දෙමාපියන් වෙනුවෙන්, කළමනාකරිත්වයට යොමු කළ ඉල්ලීම් ඇතුළත් ලිපිය පිළිබඳව, අධ්‍යක්ෂක මණ්ඩලය, විදුහල්පතිනිය ඇතුළු ජ්‍යෙෂ්ඨ ගුරුමණ්ඩලය සමඟ නවීන තාක්ෂණ ක්‍රමවේද (Video Conferences) ඔස්සේ අප දීර්ඝ වශයෙන් සාකච්ඡා කළෙමු.

මා හට, මෙම ලිපිය පළමුව ඉංග්‍රීසි බසින් ලියා ඉදිරිපත් කිරීමට සිතුනද, ඔබ විසින් අපහට යොමු කළ ඉල්ලීම්, රට තුළ වර්තමානයේ පවතින තත්ත්වය සමඟ ඉතා සංවේදී කරුණු කරණා බැවින් ඒවාට ප්‍රතිචාර හොඳින් හදවතට දැනෙන ලෙස ඉදිරිපත් කිරීමට මව්බස භාවිත කිරීම වඩා යෝග්‍යයැයි පසුව මා තීරණය කළෙමි.

අප පාසල, කළමනාකාරීත්වය සහ අධ්‍යක්ෂක මණ්ඩලය ඉතා විධිමත්ව පාලනය කරමින් ආර්ථිකවද ශක්තිමත්ව මෙතෙක් පවත්වා ගෙන ගියහ. පාසලේ කෙතරම් සංවර්ධන කටයුතු සිදු කළ ද, අප කිසිදු මූල්‍ය ආයතනයකින් ණයට මුදල් ලබා ගෙන නොමැත. එලෙස සෑමවිටම අප සතු මුදල් නිසියාකාරව කළමනාකරණය කිරීම තුලින් කිසිඳු මූල්‍යමය අර්බුදයකට ලක්නොවී පාසල පවත්වාගෙන යාමට අපට හැකි වී ඇත. දැනට පවතින ව්‍යසනකාරී තත්ත්වය හමුවේ ද ඔබ දරුවාගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව පවත්වා ගෙන යාමට සුමේධ විදුහල සහ විශාඛා ජාත්‍යන්තර පෙර පාසල ආර්ථිකව කඩා වැටීමට ඉඩ නොදී පවත්වාගෙන යාම අපගේ පරමාර්තයයි. එබැවින් කළමනාකරත්වය සහ අධ්‍යක්ෂක මණ්ඩලය සියළුම දෙමාපියන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ, අපහට මූල්‍ය ආයතනවලින් ණය පහසුකම් ලබා නොගෙන පාසල පවත්වාගෙන යාමට සහාය ලබා දෙන ලෙසයි.

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන පාසලේ ගුරුමණ්ඩලයේ අප්‍රේල් මස සිට වැටුප 50%ක් පමණක් ගෙවීමට තීරණය කිරීමට ද අපහට සිදු වුණි. (මේ පිළිබඳව ගුරුවරුන්ට යොමු කළ ලිපිය මේ සමඟ ඒවා ඇත.) තත්ත්වය එසේ වුවද හැකි ඉක්මනින් ඔවුනගේ හිඟ වැටුප් නැවත ගෙවිය යුතුමය. මෙලෙස ඉදිරි වාරයේ දී වත් ගුරු හිඟ වැටුප් ගෙවීමට හැකියාව ලැබෙන්නේ, දෙමාපියන් දරුවන් වෙනුවෙන් ගෙවිය යුතු වාර මුදල් හැකි ඉක්මණින් පියවීම මඟින් පමණක් බව මතක් කරමු. දැනට අප පාසලේ, රජයේ පත්වීම් අනුමත වී රජයේ වැටුප් ලබන ගුරුවරුන් සිටිනුයේ 6 දෙනෙකු පමණක් වන අතර, එම ගුරුවරුන් පාසල් වේලාවෙන් පසු සිදු කරන අමතර වැඩකටයුතු සඳහා අප විසින් ගෙවීම් සිදුකරනු ලබන බවද මතක් කර දෙනු කැමැත්තෙමු.

තවද මෙම ව්‍යසනකාරී තත්ත්වය තුළද දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අන්තර්ජාලය ඔස්සේ  අඛණ්ඩව පවත්වා ගෙන යාමට අප ගුරුමණ්ඩලය දිවා රෑ නොතකමින් ඉතා කැපවීමෙන් කටයුතු කරන බව ඔබට දන්වනු කැමැත්තෙමි. එපමණක් නොව අප අධ්‍යක්ෂකතුමිය, විදුහල්පතිතුමිය, උප විදුහල්පතිවරු ඇතුළු සියළුම ජේ්‍යෂ්ඨ ගුරුභවතුන් විසින් එම පාඩම් සැමවිටම අධීක්ෂණය කරමින් ඒවායේ අඩුපාඩු සකස් කර ඔබ දරුවාට අන්තර්ජාලය තුලින් ලබා දෙන අධ්‍යාපනයේ ද ගුණාත්මක බව තහවුරු කිරීමට ඉතා කැපවීමෙන් ක්‍රියාකරනු ලබයි.

ඔබ ලේකම්වරයා ලෙස, සමස්ත දෙමාපිය කැලම නියෝජනය කරමින් අපෙන් කළ ඉල්ලීම් සලකා බලා පහත සඳහන් සහන ලබා දීමට අප තීරණය කළෙමු. 

1. වාර ගාස්තු මාසිකව ගෙවීමට ක්‍රමවේදයක් සකසන ලෙස ඉල්ලා තිබුණි. එසේ කිරීමේදී අප කාර්යාල මට්ටමෙන් විශාල ගැටළුකාරී තත්ත්වයක් මතුවන බැවින් එම ඉල්ලීම ඉටු කළ නොහැකි බව කණගාටුවෙන් වුව ද දන්වමු. 

2. දඩ මුදල් - වාර ගාස්තු ප්‍රමාද කර ගෙවන දෙමාපියන්ගෙන් අය කරන දඩ මුදල් ක්‍රමය දෙවැනි වාරය තුළ තවකාලීකව නතර කිරීමට අප තීරණය කර ඇත. පසුගිය වාරයේ ද වාර ගාස්තු ගෙවා නොමැති දෙමාපියන්ගෙන් ද මෙම වාරය තුළද ප්‍රමාද වී ගෙවනු ලබන දෙමාපියන්ගෙන් ද අගෝස්තු මස අවසාන වන තෙක් දඩ මුදල් අය නොකර බව ද දන්වනු කැමැත්තෙමු. තවද තෙවැනි වාරයේ සිට නැවතත් දඩ මුදල් අය කිරීමේ ක්‍රමය ක්‍රියාත්මක කරනු ලැබේ. පළමු වාරයේ සහ දෙවැනි වාරයේ හිඟ මුදල් සහිත දෙමාපියන්ගෙන් දඩ මුදල් අයකර ගැනීමට සිදුවන බව මකත් කර දෙනු කැමැත්තෙමු.

3. වාර මුදල් සඳහා සහන ලබා දීම - ඉදිරි මාස දෙක (මැයි/ජූනි) තුළ වාර මුදල් ගෙවනු ලබන දෙමාපියන් සඳහා පහත සටහනේ සඳහන් ක්‍රමවේදයට අනුව වාර මුදල සඳහා සහන ලබා දීමට අප තීරණය කර ඇත.


තවද ජූලි මස සිට සිදුකරන ගෙවීම් සඳහා කිසිදු අමතර සහනයක් ලබා දිය නොහැකි බව ද කණගාටුවෙන් දන්වා සිටිමු.

එලෙසම ක්‍රීඩා සහ අමතර පන්ති සඳහා අයකරනු ලබන ගාස්තු සඳහා සහන ලබා දිය නොහැකි බව ද දන්වා සිටමු. ඒ මන්ද යත් ගුරුමණ්ඩලයේ අතිකාල දීමනා සහ ක්‍රීඩා උපදේශකවරුන්ගේ වැටුප් ගෙවීමට ඔබ විසින් සිදුකරන මෙම ගෙවීම් හැර වෙනත් කිසිඳු අදායම් මාර්ගයක් ඒ සඳහා නොමැති බැවිනි. අප පාසලේ ක්‍රීඩා සහ බාහිර කටයුතු රාශියක් අප දරුවන්ට ලබා දෙන බව ඔබ සැම දන්නා කරුණකි. අපගේ ක්‍රීඩා උපදේශකවරු බහුතරයක් ක්‍රොන්ත්‍රාත් පදනම මත තම සේවය සපයන අතර ඔවුන්ට කරනු ලබන ගෙවීම් කප්පාදු කිරීමට සිදු වුවහොත් ඔවුන් අප පාසල හැර යාමට ඉඩ ඇත. එසේ වුවහොත් අප දරුවන්ගේ ක්‍රීඩා කෞශල්‍ය හීන විය හැකිය. එපමණක් නොව අප පාසල ක්‍රීඩාව තුලින් මෙතෙක් අත්පත් කරගත් කීර්තී නාමය ද අපට අහිමි විය හැකිය.

මෙම කරුණු කරණා සියල්ල ඉතා ගැඹුරින් විශ්ලේෂණය කර, ඔබට ලබා දී ඇති සහනවලට අමතර තවත් සහන ලබාදීමට සිදුවුවහොත් අපහට මූල්‍ය ආයතනවලින් ණය පහසුකම් ලබා ගැනීමට සිදුවන අතර, ඒ සඳහා පොලී මුදල් ගෙවීමට ද අපහට සිදුවේ. එවිට එම පොලි වියදම් පියවා ගැනීමට අපහට ඔබගේ වාර ගාස්තු ඉහළ දැමීමට සිදුවිය හැකි බව ද මතක් කර දෙනු කැමැත්තෙමු.

තවද ණය මුදල් ලබා ගැනීම තුලින් පාසලේ අප මෙතෙක් අඛණ්ඩව සිදු කළ ශීඝ්‍ර සංවර්ධන ක්‍රියාවලිය ද අඩපන විය හැකි අතර ඒ තුලින් අප දරුවන්ට ඉදිරියේ දී හිමිවීමට නියමිත නව පහසුකම් අහිමි විය හැක. එපමණක් නොව, අපට ණය මුදල් මත යැපීමට සිදු වුවහොත් වාර්ෂික ගුරු පඩි වැඩිවීම්වලට ද එය සෘජුව බලපානු ඇත. එලෙස ගුරු වැටුප් වර්ධක ලබා දීමට නොහැකි වුවහොත් අප සතු දක්ෂ පළපුරුදු ගුරුවරු අපගෙන් ඉවත්ව වී යාමට ඉඩ ඇත.  

අවසාන වශයෙන් ශිෂ්‍ය සුබසාධක සංගමයේ ලේකම්තුමා, කාරක සභා සාමාජිකයන් ඇතුළු සියළුම දෙමාපියන් විසින්, සුමේධ කළමනාකාරීත්වය ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයට සහ ගුරුවරුන්ට ලබා දෙන සහයෝගය ඉතා අගය කරන අතර, පවතින ව්‍යසනකාරී තත්ත්වය හමුවේ සුමේධ විදුහල සහ විශාඛා ජාත්‍යන්තර පෙර පාසල ආර්ථික අර්බුදවලට ලක් නොකොට ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන යමින් මතු පරපුරට ද අප සිදු කරනා සමාජ මෙහෙවර සිදුකිරීමට අවස්ථාව සලසා දෙන ලෙස සියළු දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිමු.

ස්තුතියි,

සභාපති 
සුමේධ විද්‍යාලය - ගම්පහ



==========================================

සභාපතිතුමන් විසින් සුමේධ ගුරුවරුන් වෙත යොමු කරන ලද විශේෂ පණිවුඩය....

පාසල සහ ඔබගේ අනාගතය සුරැකීමේ වැඩ පිළිවෙල

රජය ඉතා විධිමත්ව කොරෝනා ව්‍යයසනය පාලනය කිරීමට ක්‍රමවේද සාර්ථකව දියත් කර ඇත. කරුණු එසේ වුවද ශ්‍රී ලංකා ආර්ථිකය කවදා පුණරුත්තාපනය වේ දැයිඅණාවැකි පළ කළ නොහැකිය. වත්මන වන විට අප පාසල් දෙකෙහිම ආදායම් සම්පූර්ණයෙන්ම අපට අහිමි වී ඇත. දරුවන්ගේ වාරික ගෙවීම පමණක් නොව, ක්‍රීඩා තුළින්, පිහිණුම් තටාකයෙන් වෙළඳසැල් වලින් අපට ලැබුණු ආදායම අහිමි වී ඇත. එලෙසම සති අග නිවාඩු දින වල ශාලා ඇතුළු අපගේ පහසුකම් වලින් ලද ආදායමද නැති වී ඇත. මෙම ආර්ථික අදුරු යුගයේ පාසල් දෙකම බේරා ගැනීමට දැනට පාසල් දෙකේම ගුරුමණ්ඩලයට බැදී සිටින සියළු දෙනාගේ රැකියා එලෙසින්ම පවත්වා ගැනීමට සහයෝගය ලබා දීමත් එම රැකියා සියල්ල සුරක්ෂිත කිරීමත් කළමණාකාරීත්වයේ වගකීම බව අප තේරුම් ගෙන ඇත.

අප දෙමව්පියන් ගෙන් 40% ක් පමණ රජයේ සේවකයන් වන අතර ඔවුන්ගේ ආදායම දුර්වල නොවී පවත්වාගෙන යා හැකි වුවත්, ව්‍යාපාර අංශයේ, සංචාරක කර්මාන්තයේ, විදේශ රැකියාවල් කරන, දෙමාපියන්ගේ ආර්ථිකය අනිවර්යයෙන්ම යථා තත්වයට පත් වීමට අවම වශයෙන් මාස 6ක් වත් යා හැකි බව අප විමසුම් කළ ආර්ථික විශේෂඥයන්ගේ මතයයි.

එම නිසා කළමණාකාරීත්වය විසින් මාස 6ක අඳුරු යුගයක් තුළ පාසල සුරක්ෂිතව පවත්වාගෙන යාමේ වැඩපිළිවෙලක් සැකසීමට තීරණය කර ඇත. එහි ප්‍රධාන අංගය නම් අප්‍රේල් මාසයේ සිට පාසල් දෙකේම ගුරුමණ්ඩලය ඇතුළු සියළු දෙනාට වැටුපෙන් භාගයක් පමණක් ගෙවීමයි. එලෙස කළ විට අප පාසල් වලට කිසිම ආදායමක් නොලැබුනද සියළු දෙනාට මාස 6ක්ම පුරාවට මාසික වැටුෙපන් භාගයක් ගෙවීමට අප සතු මුදල් ප්‍රමාණවත්ය

එලෙස මාස 06 ක අඳුරු යුගයක් ගැන සිතුවද මෙම වියසනයෙන් මිදී පාසල් විවෘත කර දෙමාපියන් නිසිලෙස වාරික මුදල් ගෙවීම ආරම්භ කර ආර්ථිකය යථා තත්වයට පත්වූ විට ඔබගේ සම්පූර්ණ වැටුප් ගෙවීමට අප බලාපොරොත්තු වෙමු. උදාහරණයක් ලෙස මැයි මස රජය පාසල් විවෘත කර දරුවන් පාසලට පැමිණීම සාධාරණ මට්ටමකට තිබී, දෙමාපියන් වාරික ගාස්තු ගෙවුවහොත්, එකලට පවතින ආර්ථික තත්වය සලකා බලා මැයි මස හෝ ජුනි මස සිට ඔබගේ සම්පූර්ණ වැටුප ගෙවීමට පවත්නා ආර්ථික තත්වය සලකා බලා අප බලාපොරොත්තු වෙමු. තවද දෙමව්පියන්ට හැකි ඉක්මනින් වාර ගාස්තු ගෙවන ලෙස දැනටමත් අප දන්වා ඇත. එමෙන්ම ඔබට මෙම ව්‍යසනය නිසා අහිමි වන වැටුප් මතු අනාගතයේදී හැකි ඉක්මනින් අර්ථිකය යථාතත්වයට පත්වූ විගස ගෙවීමට බලාපොරොත්තු වෙමු.

අප මධ්‍යස්ථානය කිසිවෙකුටත් බැංකු ණය නැත. නමුත් ලංකාව තුළ මෙන්ම ලොවටම බලපෑ ඇති මෙම ආර්ථික අරබුදය හමුවේ මෙම යෝජිත ක්‍රමය නිසා ඔබගේ අනාගතය සුරක්ෂිත වන බවද නැවතත් සඳහන් කරමු.

යම්කිසි පීඩනයක් මත සම්පූර්ණ වැටුප් ගෙවීමට අපහට සිදු වුවහොත් එයින් වන්නේ අප හට බැංකු වලට ණය වී පාසලේ දරුවන්ගේ අනාගතය පමණක් නොව සමස්ථ ගුරුමණ්ඩලයේම අනාගතයද අගාධයකට ඇද දැමීම බව අවධාරණයෙන් මතක් කර සිටිමු.

සභාපති
සුමේධ විද්‍යාලය - ගම්පහ

1 comment:

  1. actually the running cost of the school has come down by at least 60%.
    Therefore could you please consider an additional reduction with the term fees for the second term?

    ReplyDelete